හිඳී සොම්නස ජය ලබා
ගමේ පොල් අතු පාසලේ ගුරුතුමී ඇය රූ සිරි ඇතී
නැටුම් පන්තිය බලා ඉන්නට තිබේනම් මට ඒ ඇතී
මගේ හිත මේ ගැහෙන තාලය තවම ඇය දන්නේ නැතී
තනෙන තම්දෙන ඇසෙන විට මා සිටින තැන මතකත් නැතී
ඔසරි පොට ගෙන පිසූ දෙකොපුල රෝස පැහැයක් ගෑවුනා
නීල වරලස නටන තාලෙට සිහිනි ඉඟසුඟ නැල උනා
සුරඟනක් වැනි මෙවන් සුන්දර රූසිරින් මන් මත් උනා
හද්ද පිටිසර සොඳුරු පෙදෙසක ඉලුක් සෙවනට ගොඩ උනා
වාඩිවෙන්නත් තැනක් නැන මෙහි පිලේ පැදුරක් එලන්නම්
තාත්තා හේනට වෙලා ඇති ඉන්න හනිකට කියන්නම්
පයින් ඇවිදින් මහන්සිත් ඇති බොන්න බෙලිමල් හදන්නම්
ඉන්න හවසට යන්න හැකි නොවැ කන්න විගහට උයන්නම්
කිසිත් නොකියා බලා සිටියෙමි මගෙ හිත ගොලු වූ නියා
මටත් නොදැනිම මගෙ හිත දුර ඈත ලොවකට ගෙනගියා
බොන්න දුන් බෙලි මල් කෝප්පය පිලේ උඩ පසෙකින් තියා
සොයා සුව සිහිනයේ ලොව තුල සිටින්නෙමි දෙනයන පියා
මොකද මේ මහ දවල් නිදි ඇයි දෙව්ලොවින් ඇසුනා වැනී
දෙනෙත් හැර බැලු කලට මිහිබට සුරඟනක් අසලින් උනී
කොහේ කොයි අත ගියා දෝ පෙර දිනේ මට බැට දුන් තනී
දෙනෙත් කඳු මුදුනට යවා ඇය බිත්තියට බර වී උනී
තාත්තා දැන් ලඟම ඇති හේනටම යයි ඔහු මහලු වී
අම්මාද නැති මා බලාගත් හැටි පෙනේ මට හැම විට මැවී
කුඩා කල ඈ ගියා අප හැර පලක් නැත ඒ ගැන තැවී
හැකිය මට ඔහු බලාගන්නට නොමැත දැන් අතපය සවී
ගිරිස්මයි හරි ගොහිං කෙල්ලේ ලබු කැටේ අරගෙන වරෙං
මිරිස් ගස්ටික වේලිලා ඇල වේලි ටික හිඳිලා ගිහිං
මහත්තය විට කන්නෙ නැහැනොවැ කොහෙදෝ ගම් බිම් ඉතිං
මාලු ටිකකුත් අරං එන්නම් පොඩිත්තක් කෙල්ලේ හිටිං
අහිංසක ගැමි සුවඳ දෙන මුදු සිනාවන් උතුරණ වතේ
ගතේ දුර්වල කම් පරාජය කරයි සවි ඔහුගේ හිතේ
වයස හැත්තෑපහත් පසුවිය යුතුය දැන් මාගේ හිතේ
බැරිය දැන් කම්මලිය ඔහුගේ මුවින් පිටවන්නේ නැතේ
කෙල්ල විගහට රත්කරයි දැන් ඒකි හරි දස්කම් ඇතී
මගේ පන ටික යන්න කලියෙන් දීගතල දුන්නොත් ඇතී
අම්ම නැති උනෙ පුංචි සන්දියෙ වයස පහකට වත් නැතී
මේකි නැතිනම් මාව වලලපු තැනක අද ලකුනුත් නැතී
මේ කතා මැද යලිත් මා හිත අලුත් ලොවකට පාඋනා
කොහෙන් කෙලෙසක පටන් ගන්නෙද මගේ හිත කලබල උනා
ටිකක් හිඳ ගැහෙනා හිතින් මට තාත්තේ යැයි කියැඋනා
බුලත් කෙල ටික ඇඟිලි අතරින් මිදුල මුල්ලට විසිඋනා
නැගෙන සිතුවිලි ගලපගනිමින් යාන්තම් පවසාගතී
හිනැහුනා මිස කිසිත් නොකියා යලිත් ඔහු හේනට යතී
මාත් පසුපස ගොසින් හේනේ පැලේ මැස්සෙන් හිඳගතී
මගේ වගතුග විමසමින් හිත කල්පනවක පැටලෙතී
මසක් දෙමසක් ගෙවී ගොස් මව් පියන් ගෙන් ආසිරි ලබා
මගේ පැල තුල දිලේ අද ඒ කෝල මුදු රූසිරි සොබා
සෑම දිනයෙම තාත්තා ලඟ දනින් හිඳ ආසිරි ලබා
දෙදෙන අද අප ඔහුත් සමගින හිඳී සොම්නස ජය ලබා..
Comments
Post a Comment