Friday, March 16, 2012

නොදියුණු සිතේ තාවකාලික අවබෝධය

දිනක් රෝහල් ඇඳේ සැතපී උදෑසන ඇඳ සුදු සරම්
රෝද හතරේ ඇඳේ නැග පෝලිමට යයි කරුමෙක තරම්
ලයිට් හතරක් පහක් යට ඇස්දෙක ඇරන් උඩ බිම බලම්
දුටිමි මම ජීවිතය මෙතුවක් කිසි දිනෙක නොදුටුව තරම්

කෝච්චියකට පැනපු මිනිහෙක් අරන් ආවා බේරිලා
බයිසිකලයක හැප්පිලා තව කෙනෙක් ආවා ඌ මළා
ගලන ඕජස් දිරන සිරුරේ අනිත්‍යය දෙස බල බලා
සිත සිතා සිටි සිතත් අරගෙන නැවාත යමි නිවහන බලා

නැවත නිවසට පැමිණ සතියක් දෙකක් ගතවී ගෙනගියා
වේදනාවන් ටිකෙන් ටික යළි  දිනෙන් දින අඩු වූ නියා
යළිත් නැවතත් මගේ සිත මට පුරුදු සිතිවිලි ගෙනගියා
හිතට වදදුන් ශෝක සංකා කොහේදෝ කොතැනක ගියා




Thursday, February 2, 2012

භවේ හැටී


කරදර වරින් වර එයි ඒ භවේ හැටී
වැටුනත් විටෙක කරදර අභිමුවේ ගැටී
කවියත් නැගෙන රසයත් ඔසු ලෙසින් වටී
යලි අද හෙටම මම දෙපයින් නැගී සිටී

Tuesday, November 1, 2011

සඳ එළිය

මිහිරි පෙම්වත් සඳ දියෙන් මා නහවපන් සුදු සඳවතී
දෙනෙත පියෙනා නුරාවෙන් රස උරමි නාදලු තොල්පෙතී
මසිත මවනා රටාවන් තුරු ලතාවන් සමගින් එතී
සොඳුරු මේ රෑ සුරඟනන් සඳ කැළුම් එළියෙන් හිනැහෙතී

Saturday, October 29, 2011

පැල්පත

රුදුරු ජීවන මංතලේ
මං වැරදිලා පියමං කළේ
පාර සොයනා රෑ කළේ
සඳ උවන ඇයි සරදම් කළේ

පැල්පතක එළියක් පෙනේ
මාලිගාවක් ලෙස දැනේ
සැනසුම් සුසුම් රැළි පාඋණේ
පැල්පතට සැණෙකින් ලං උණේ

ගිමන් නිවනා හැඟුමෙනී
පැල්පතේ මොහොතක් ඇල උනී
දෙනෙත් පියෙනා මොහොතෙනී
නිදහසේ නිදිසුව ලං උනී

ගතේ සුව සිසිලක් එතී
පිනි දියෙන් සියොළඟ නැහැවෙතී
යුග දෙනෙත් අහසට යොමු වෙතී
ඒ පැල්පතේ වහලක් නැතී

Wednesday, October 19, 2011

කාර්යාල දුම්රිය

සුපුරුදු පරිදි හැමදාමත් පමා වෙලා
දුම් රිය කොළඹ කොටුවෙන් ඇත පිටත් වෙලා
මරදානේ සුලු මොහොතක් නවත්වලා
නැවතත් ගමන අරඹන්නට හෝන් කළා

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
කණකර මුදල් සහ දුරකථනද ඉස්සේ
අඩු බව දැනෙන්නේ බැසගත්තට පස්සේ
ඇඳි වත රැකගත්ත හින්දයි සන්තෝසේ

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
පෙම් බස් කිය කියා තව සමහරු සැනසේ
දෙදෙනා දෑත් වල මංගල මුදු දිලිසේ
සැමියා රාගමින් ඇය බටුවත්තෙනි බැස්සේ

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
ජන්ගම අවන්හල තාලයකට ගැස්සේ
බෝතල දෙක තුනක් හැමදාමත් හිස්වේ
මේ අය හිඳින්නේ හැම වැසිකිළි අස්සේ

හැන්දෑ යාමයේ මේ ජරමර අස්සේ
කාලය ගෙවාගන්නට හැමදෙන වෙහෙසේ
සිංහල සිරිත් ගුණදම් එකිනෙක වැනසේ
ගුණදම් කුමට සැනසෙන් මිතුරනි රිසිසේ

Saturday, October 8, 2011

බමර විසතුඩු

මලක් මලවට බමන බමරුට කියූ මල් පැණි කතාවයි
ඇසූ රස කථාවෙන් ඔදවැඩුණු නර්තන ලතාවයි
බමර ගුමු ගුමු අතර විසතුඩු ඇනෙන්නේ එක වතාවයි
එයින් අවසන දකින්නේ පිපි මලේ සියුමැලි සිනාවයි

Friday, September 30, 2011

රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී

දුටිමි දකිමි ලක වැනසෙනු හද කකියයි ලෙය රිදී
රකිනු රකිනු ලක හැමදින හෙල වැසියනි ළය දිදී
කියමු ලියමු තව තව හැකි පමණින් තවමත් මදී
මකමු මකමු පරගැතිකම සිරිලක වැනසෙනු නොදී

Thursday, September 29, 2011

ගැමි ලිය


සූසැට බරණ රණ් සලු පිලි නැතුවාට
අඩුවක් පෙනේවිද ගැමි ලියගේ කාට
නැතිමුත් දෙතොල ගැල්වූ දේදුනු පාට
පහනකි දිලෙන ආලෝකය දෙන රෑට

වත්තේ පහල හැමදා ඇවිදින ඈට
දෙපයේ වෙලෙන්නට මිරිවැඩි නැතුවාට
දෙපතුල බදන් දෙන කෙඳිරිලි නැත රෑට
සුව නින්දක් නිදයි වත නැනසුම් පාට

දිය පිරි කලය සෑදූ සිහිනිඟක සිරී
පිරිපුන් නිතඹ නැලවේ දෙව්ලියක සරී
උවනේ සිරිය වෑහේ සෙනෙහසින් පෙරී
ඇය මේ ගමට සිරියයි ඇති නොමද දිරී

ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ


Tuesday, September 20, 2011

සුදුසු දේසේ වාසය

නීල ගොයමක සුවඳ සෙව්වෙමි
දැනෙන්නේ ලේ පිලී ගඳමය
හන්දියේ කඩමන්ඩියේ
සිත නිවාලන දහම් සෙව්වෙමි
ඇසෙන්නේ ඒ ගෝර හඬමය
පේන මානේ පල්ලියේ
මගුල් කාරණ පෙර ඇසූයෙමි
දැනේ එය පෙරටත් වඩා අද
සුදුසු දේසේ වාසයේ

Tuesday, August 30, 2011

හිඳී සොම්නස ජය ලබා


ගමේ පොල් අතු පාසලේ ගුරුතුමී ඇය රූ සිරි ඇතී
නැටුම් පන්තිය බලා ඉන්නට තිබේනම් මට ඇතී
මගේ හිත මේ ගැහෙන තාලය තවම ඇය දන්නේ නැතී
තනෙන තම්දෙන ඇසෙන විට මා සිටින තැන මතකත් නැතී

ඔසරි පොට ගෙන පිසූ දෙකොපුල රෝස පැහැයක් ගෑවුනා
නීල වරලස නටන තාලෙට සිහිනි ඉඟසුඟ නැල උනා
සුරඟනක් වැනි මෙවන් සුන්දර රූසිරින් මන් මත් උනා
හද්ද පිටිසර සොඳුරු පෙදෙසක ඉලුක් සෙවනට ගොඩ උනා

වාඩිවෙන්නත් තැනක් නැන මෙහි පිලේ පැදුරක් එලන්නම්
තාත්තා හේනට වෙලා ඇති ඉන්න හනිකට කියන්නම්
පයින් ඇවිදින් මහන්සිත් ඇති බොන්න බෙලිමල් හදන්නම්
ඉන්න හවසට යන්න හැකි නොවැ කන්න විගහට උයන්නම්

කිසිත් නොකියා බලා සිටියෙමි මගෙ හිත ගොලු වූ නියා
මටත් නොදැනිම මගෙ හිත දුර ඈත ලොවකට ගෙනගියා
බොන්න දුන් බෙලි මල් කෝප්පය පිලේ උඩ පසෙකින් තියා
සොයා සුව සිහිනයේ ලොව තුල සිටින්නෙමි දෙනයන පියා

මොකද මේ මහ දවල් නිදි ඇයි දෙව්ලොවින් ඇසුනා වැනී
දෙනෙත් හැර බැලු කලට මිහිබට සුරඟනක් අසලින් උනී
කොහේ කොයි අත ගියා දෝ පෙර දිනේ මට බැට දුන් තනී
දෙනෙත් කඳු මුදුනට යවා ඇය බිත්තියට බර වී උනී

තාත්තා දැන් ලඟම ඇති හේනටම යයි ඔහු මහලු වී
අම්මාද නැති මා බලාගත් හැටි පෙනේ මට හැම විට මැවී
කුඩා කල ගියා අප හැර පලක් නැත ගැන තැවී
හැකිය මට ඔහු බලාගන්නට නොමැත දැන් අතපය සවී

ගිරිස්මයි හරි ගොහිං කෙල්ලේ ලබු කැටේ අරගෙන වරෙං
මිරිස් ගස්ටික වේලිලා ඇල වේලි ටික හිඳිලා ගිහිං
මහත්තය විට කන්නෙ නැහැනොවැ කොහෙදෝ ගම් බිම් ඉතිං
මාලු ටිකකුත් අරං එන්නම් පොඩිත්තක් කෙල්ලේ හිටිං

අහිංසක ගැමි සුවඳ දෙන මුදු සිනාවන් උතුරණ වතේ
ගතේ දුර්වල කම් පරාජය කරයි සවි ඔහුගේ හිතේ
වයස හැත්තෑපහත් පසුවිය යුතුය දැන් මාගේ හිතේ
බැරිය දැන් කම්මලිය ඔහුගේ මුවින් පිටවන්නේ නැතේ

කෙල්ල විගහට රත්කරයි දැන් ඒකි හරි දස්කම් ඇතී
මගේ පන ටික යන්න කලියෙන් දීගතල දුන්නොත් ඇතී
අම්ම නැති උනෙ පුංචි සන්දියෙ වයස පහකට වත් නැතී
මේකි නැතිනම් මාව වලලපු තැනක අද ලකුනුත් නැතී

මේ කතා මැද යලිත් මා හිත අලුත් ලොවකට පාඋනා
කොහෙන් කෙලෙසක පටන් ගන්නෙද මගේ හිත කලබල උනා
ටිකක් හිඳ ගැහෙනා හිතින් මට තාත්තේ යැයි කියැඋනා
බුලත් කෙල ටික ඇඟිලි අතරින් මිදුල මුල්ලට විසිඋනා

නැගෙන සිතුවිලි ගලපගනිමින් යාන්තම් පවසාගතී
හිනැහුනා මිස කිසිත් නොකියා යලිත් ඔහු හේනට යතී
මාත් පසුපස ගොසින් හේනේ පැලේ මැස්සෙන් හිඳගතී
මගේ වගතුග විමසමින් හිත කල්පනවක පැටලෙතී

මසක් දෙමසක් ගෙවී ගොස් මව් පියන් ගෙන් ආසිරි ලබා
මගේ පැල තුල දිලේ අද කෝල මුදු රූසිරි සොබා
සෑම දිනයෙම තාත්තා ලඟ දනින් හිඳ ආසිරි ලබා
දෙදෙන අද අප ඔහුත් සමගින හිඳී සොම්නස ජය ලබා..