කතාකරන පින්තූරය...


දුම් මැස්සේ හිස් උනු බටපොතු පෙට්ටී
නොපිට හැරුනු කුනු දූවිලි කන මුට්ටී
කලකින් ගින්දරක සුව විඳ නැති හට්ටී
එක් තැන් වෙලා මැස්සේ තැන තැන අට්ටී


කොස් කාලයට කොස් ඇට මුල්ලේ වලලා
අවාරයට වැලි කොස් ඇට ගෙන උයලා
හත් අට දෙනෙක්ගේ කුසගිනි දුන් නිවලා
අද ඒ කුස්සියත් මහලුය දුක් විඳලා

පොල් කොල සූර සූරා ඉන් ඉරටු ගෙන
මට්ටම් වන්න ඉහ පැත්තෙන් බිමට ඇන
සකසාගත්ත ඉලපත ගෙන නමා ඉන
කුනු ටික සෙමින් කුනු මුල්ලට උරුම වින

දෙල් අටුකොස් ගුඩු කජු ඇති දුම් මැස්සේ
බට පොතු පෙට්ටි පිරිලා පියනද ඉස්සේ
මැවිලා පෙනී නෙත් දෙක දෙ අතින් පිස්සේ
හිස් උනු පෙට්ටි ඇත තනියට දුම් මැස්සේ

මේ කුස්සියෙන් පිට ලෝකය සොයා නොයා
ඇය නොදැනීම කාලය ගතවෙලා ගියා
පිල උඩ දිගාවී වෙව්ලන දෙනෙත අයා
මග බලමින්ම හැන්දෑවේ නින්ද ගියා

සිනා මුවින් සැමියා ගෙට එන සැටියා
දැක පෙරමගට විත් පසෙකට වී සිටියා
සතුටට කාරනා ඇය විමසා සිටියා
රත්තිට හම්බුනා අද කුලුඳුල් පැටියා

පාසල නිම වෙලා දුව දිව එයි පිම්මේ
හුරතල් කේලමක් ඇය අතහැර දැම්මේ
ඇයි දන්නවද අයියල නාවේ අම්මේ
අයියයි මල්ලිලයි තාමත් වැව් බැම්මේ

බල්ලෙක් උඩු බුරන සද්දෙට හිස උස්සා
වෙව්ලන දෙපා තබමින් එලියට බැස්සා
සුලඟක් හමයි සුදු ගොක් සැරසිලි උස්සා
අදත් කෑගසයි අර මූසල බස්සා

Comments

Popular posts from this blog

ගැමි ලිය

බමර විසතුඩු